ශ්‍රී ලංකාවේ සසජාතශි ව්‍යාපාරයේ මූලධර්ම පිලිබඳ ප්‍රකාශය

[ Englishதமிழ் ]

ධනවාදය ලොව පුරා තරුන ජනයාට හට උරුම කර දෙමින් ඇත්තේ න්‍යෂ්ටික ලෝක යුද්ධයේ, මර්දනයේ, දරිද්‍රතාවේ, විරැකියාවේ සහ සමාජ කාලකන්නිභාවයේ අනාගතයකි. ලංකාව ඇතුලු ඉන්දු උප-මහාද්වීප කලාපය ලොව වැඩිම ජනතාවක් දරිද්‍රතාවට ඇද දමා ඇති කලාපය යි. සමස්ත ආසියාව ම ලෝක යුද්ධයක් අවුලවාලිය හැකි භූ-දේශපාලන ආතතීන්ගෙන් ගිනියම් වී පවතී.

නවීන විද්‍යාව හා තාක්ෂනයේ විප්ලවීය වර්ධනය මත පාදක ලෝක නිෂ්පාදනයේ ප්‍රතිලාභ, ධනවාදය විසින් බහුතර මහජනයාට අහිමි කරනු ලැබ ඇත. අතලොස්සක් ධනපතියන්ගේ ලාභය සඳහා නිෂ්පාදනය කරන පෞද්ගලික දේපල අයිතිය සහ ධනවාදය මුල්බැස පවතින ධනපති ජාතික රාජ්‍ය පද්ධතියත් ලෝක ආර්ථිකයත් අතර පවතින ධනවාදයේ මූලික පරස්පරවිරෝධතා නිෂ්පාදන බලවේගවල වර්ධනයට සහ මානව සමෘද්ධියට බාධක ලෙස පිහිටා තිබේ.

මෙම පරස්පරවිරෝධයන් ජයගැනීමට ධනවාදයට ප්‍රගතිශීලි විසඳුමක් නැත. මූල්‍ය අර්බුදයක ස්වරූපයෙන් 2008 දී පුපුරාගියේ ධනපති ක්‍රමයේ මෙම පද්ධතිගත පරස්පරවිරෝධය යි. ධනවාදය තවදුරටත් පැවැතුනහොත් මානව වර්ගයාට මුහුන දීමට සිදුවන්නේ න්‍යෂ්ටික තුන්වන ලෝක යුද්ධයක් මගින් මානව ශිෂ්ටාචාරය විනාශභාග්වීමකට යි.

සමාජ සමානතාව සඳහා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ (සසජාතශි) යනු ශ්‍රී ලංකාවේ සමාජවාදී සමානතා පක්ෂයේ (සසප) තරුන හා ශිෂ්‍ය ව්‍යාපාරය යි. සසප හා ඒකාබද්ධව සසජාතශි සටන් වැද සිටින්නේ ශ්‍රී ලංකාවේ, ඉන්දු-උපමහද්වීප කලාපයේ හා සමස්ත ආසියාවේ තරුනයන් සහ ශිෂ්‍යයන් ජාත්‍යන්තර සමාජවාදයේ ඉදිරිදර්ශනය මත බලමුලු ගැන්වීමටයි.

සසජාතශි ඉල්ලීම්

අධිරාජ්‍යවාදී යුද්ධයට එරෙහි වනු!

මානව වර්ගයා යලි වතාවක් යුද්ධයන්ගේ සහ විප්ලවයන්ගේ කාලපරිච්ඡේදයකට ඇතුලු වී සිටී. අධිරාජ්‍යවාදයේ රැකවලුන් වන ලංකාවේ සහ ජාත්‍යන්තර ව්‍යාජ-වාම පක්ෂ අධිරාජ්‍යවාදී යුද තර්ජනය තරුනයන්ගෙන් හා කම්කරුවන්ගෙන් වසං කිරීමට යත්න දරයි. සසජාතශි, යුද්ධයට එරෙහි අරගලය සිය දේශපාලන වැඩකටයුතුවල ප්‍රමුඛස්ථානයෙහි තබයි. යුද්ධයට එරෙහි අරගලයකින් තොරව සමාජවාදය සඳහා සටනක් නොමැතිවාක් මෙන්ම සමාජවාදය සඳහා සටනකින් තොරව අධිරාජ්‍යවාදී යුද්ධය ද වලකාලිය නොහැකි ය. ධනේශ්වර අර්බුදයේ තියුනුම ප්‍රකාශනය වන යුද්ධය, සූරාකෑම හා මර්දනය වේගවත් කොට සමාජ විප්ලවයට පාර කපයි.

පශ්චාත් දෙවන ලෝක යුද සමතුලිතය මුලුමනින් ඉරා දමමින් ඇමෙරිකානු ජනාධිපති ඩොනල් ට්‍රම්ප් ගෙන යන ඉවබව නැති යුද ධාවනය සහ ආර්ථික ආරක්ෂනවාදය, එක්සත් ජනපද අධිරාජ්‍යවාදය මුහුන දී ඇති ලෝක ඓතිහාසික අර්බුදයේ ප්‍රකාශනය යි.

ස්ටැලින්වාදී නිලධරය විසින් 1991 දී සෝවියට් සංගමය බිඳ විසිරවීමේ තැන් පටන් එක්සත් ජනපද අධිරාජ්‍යවාදය ලෝක ආධිපත්‍යය සඳහා ගෙන යන අඛන්ඩ යුද ධාවනය දැන් චීනය හා රුසියාව සමග විවෘත යුද්ධයක් ඇවිලවීමේ අද්දරට සේන්දු වී ඇත. උතුරු කොරියාවට එරෙහි ඇමරිකානු ප්‍රකෝපකරනයන් හා මැදපෙරදිග යුද ආක්‍රමනවල අවසන් එල්ලය වන්නේ චීනය හා රුසියාව යි.

චීනය ආර්ථිකව හා මිලිටරීමය වශයෙන් වටලෑම සඳහා එක්සත් ජනපද අධිරාජ්‍යවාදය විසින් දියත් කෙරුනු “ආසියාවට හැරීමේ” භූ-මූලෝපාය තුලට ඉන්දියානු පාලක පන්තිය හා මිලිටරිය ප්‍රමුඛතම සහකරු ලෙස සමීප කර ගැනීම මගින් කලාපයේ භූ දේශපාලන ආතතීන් තවත් ගිනියම් කරනු ලැබ පවතී. එහි ප්‍රතිඵලයක් ලෙස දීර්ඝකාලීන පසුමිතුරු රටවල් වන ඉන්දියාව හා පකිස්ථානය අතරත් ඉන්දියාව හා චීනය අතරත් ආතතීන් පසුගිය දෙවසර තුල මහා පරිමාන යුද්ධයක් අද්දරට ම සේන්දු විය.
කලාපයේ ජනතාවට තර්ජනයක් වන එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ සියලු මිලිටරි කඳවුරු මෙන් ම ලංකාවේ හා ඉන්දියාවේ පාලක පන්තීන් ඇමරිකන් අධිරාජ්‍යවාදීන් සමග ඇති කරගෙන තිබෙන මිලිටරි ගිවිසුම් ද අහෝසි කල යුතු ය.

කලාපයේ පාලක පන්තීන් උසිගන්වන ජාතිකවාදය හා වාර්ගික භේදකරනයන්ට කම්කරුවන් හා තරුනයින් ක්ෂමාවිරහිතව විරුද්ධ විය යුතු ය. තම පොදු සතුරා වන අධිරාජ්‍යවාදයට සහ ජාතික ධනපති පන්තියට එරෙහිව ජාත්‍යන්තර සමාජවාදයේ ඉදිර්ශනය යටතේ කම්කරුවන්ගේ හා තරුනයන්ගේ ජාත්‍යන්තර යුද විරෝධී ව්‍යාපාරයක් ගොඩ නැගීමට සසජාතශි තරුනයන්ට හා ශිෂ්‍යයන්ට කැඳවුම් කර සිටී.

දැවෙන සමාජ ගැටලු විසඳීමට සමාජවාදී වැඩපිලිවෙල!

අධිරාජ්‍යවාදී යුද ධාවනය සමග පෙල ගැසී සිටින ලංකාවේ හා කලාපයේ පාලක පන්තීන් කම්කරු පන්තියට හා තරුනයන්ට එරෙහි සමාජ ප්‍රතිවිප්ලවයක් දියත් කරමින් සිටී. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (ජාමූඅ) නියෝග ක්‍රියාවට දමමින් ලංකාවේ කම්කරු පන්තියේ අතීත ජයග්‍රහනයක් වන සීමිත නිදහස් අධ්‍යාපනය හා සෞඛ්‍ය සේවාවන් ද අනෙකුත් සහනාධාර හා රැකියා අවස්ථාවන් ද පසුගිය දශක කිහිපය මුලුල්ලේ බලයට පත් ධනපති ආන්ඩු විසින් අඛන්ඩව කප්පාදුවකට ලක් කොට තිබේ.

ලංකාවේ පාසල් යා යුතු වසසේ දරුවන්ගෙන් සියයට 9.9 ක්, එනම් 452,661ක් පාසල් නොයන බවත්, ඉන් දරුවන් 51,249ක් කිසිදා පාසලකට ගොස් නැති බවත් ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ “ 2016 -ලමා ක්‍රියාකාරකම් සමීක්ෂනය” හෙලි කරයි. වයස අවුරුදු 15-17 අතර වයසේ දරුවන්ගෙන් සියයට 39.7 ක් වැනි සුවිසල් ප්‍රමානයක් පාසල් නොයන බව එම වාර්තාව පෙන්වා දෙයි.

ඉන්දියාව සමස්ත දකුනු ආසියානු ජනගහනයෙන් හතරෙන් තුනකට හිමිකම් කියයි. මේ වසරේ ගෝලීය සාගිනි දර්ශකය අනුව ඉන්දියාවේ මාස 6 සිට මාස 23 දක්වා වයස් පරාසයේ ලදරුවන්ගෙන් ප්‍රමානවත් ආහාර ලබන්නේ සියයට 9.6 ක් පමනි. ඉන්දු උපමහද්වීප කලාපයේ ම විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලබන්නේ තරුන ජනයාගෙන් සියයට එකකටත් අඩු ප්‍රතිශතයකි.

ලංකාවේ හා කලාපයේ ජනතාවගේ කුසගින්න, නිවාස, අධ්‍යාපනය, සෞඛ්‍යය ඇතුලු සමාජ සුභසාධන ගැටලු විසඳිමට බිලියන ගනනින් මුදල් වියදම් කල යුතු ය. කම්කරු පීඩිත ජනයාගේ සෑම රුපියලක් ම උරා ගනිමින් බිලියනපතියන් බිහිකරන විදේශ නය හා රාජ්‍ය නය ආපසු ගෙවීමේ ක්‍රමය අහෝසි කල යුතු ය. ඩොලර් ට්‍රිලියනය ද ඉක්මවා අඛන්ඩව ඉහල නංවන වාර්ෂික ගෝලීය යුද වියදම්, සමාජ සුභසාධන වෙනුවෙන් කැප කල යුතු ය.

මෙය ඉටුකිරීම සඳහා නම්, යුද්ධය මගින් ලාභ තර කර ගනිමින් ලෝක ආර්ථිකය මත ආධිපත්‍යය පතුරුවා ගෙන සිටින පරපුටු මහා බැංකු සහ සංගත, කම්කරු පන්තියේ ප්‍රජාතන්ත්‍රීය පාලනය යටතේ ජනසතු කල යුතු ය.

ලොව පුරා කම්කරුවන් හා තරුනයන් මුහුන දෙන ගැටලු මූලික වශයෙන් සමාන ය. අධිරාජ්‍යවාදී ලාභ පද්ධතියට බැඳීගත් කලාපයේ රටවල පාලක පන්තීන් ද ලංකාවේ ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ) හා ඉන්දියාවේ ස්ටැලින්වාදී කොමියුනිස්ට් පක්ෂ වැනි ධනපති ජාතිකවාදී සංවිධාන ද තොරොම්බල් කරන ජාතිකවාදී ධනේශ්වර වැඩපිලිවෙලවල් කම්කරුවන් හා තරුනයන් මුලුමනින් ප්‍රතික්ෂේප කල යුතු යැයි සසජාතශි කියා සිටී.

සමාජ සමානතාව සඳහා!

ලෝක ජනගහනයෙන් දුප්පත් ම අර්ධය ලෝක ධනයෙන් උරුම කරගන්නා ප්‍රමානය සියයට එකකටත් අඩු වන අතර එම ධනයෙන් සියයට 89 ක්ම අත්පත් කරගන්නේ ඉහල ම සියයට 10ට අයත් සුපිරි ධනපතියන් ය. වර්ධනය වන සමාජ අසමානතාව ප්‍රජාතන්ත්‍රවාදය සමග පෑහෙන්නේ නැත. රටක් රටක් පාසා ෆැසිස්ට් පන්නයේ අන්ත දක්ෂිනාංශික ආන්ඩු බලයට පැමිනෙමින් ඇත්තේ මෙම කොන්දේසි තුල යි.

විද්‍යාවේ හා තාක්ෂනයේ වර්ධනයන් උපයෝගි කොටගෙන, යුද්ධයෙන් ද සූරාකෑමෙන් හා අසමානතාවෙන් ද තොර ලෝකයක් බිහි කල හැක්කේ සෑම රටක් තුල ම ධනවාදය පෙරලා දමා මානුෂ අවශ්‍යතා සඳහා ලෝක ආර්ථිකය සමාජවාදී පිලිවෙත් ඔස්සේ ප්‍රතිව්‍යුහගත කිරිමෙනි.

විරැකියාව අවසන් කිරීම සඳහා!

සුභසාධනය නඟා සිටුවීමට සිදුකෙරෙන දැවැන්ත වැඩසටහන් මගින් ධනවාදය තුල තරුනයන් මුහුන දෙන විරැකියාව, අනාරක්ෂිත හා අඩු වැටුප් සහිත කොන්ත්‍රාත් රැකියා අවසන් කල හැකි ය. මහා අන්තර් ජාතික සමාගම් යටතේ දරුනු සූරාකෑමකට ලක් වී සිටන ලංකාවේ, ඉන්දියාවේ, සමස්ත ආසියාවේ හා ලෝක පරිමානව තරුන කම්කරුවන්ගේ අනාගතය ඉහල වැටුප් හා යහපත් රැකියා කොන්දේසි යටතේ සුරක්ෂිත වනු ඇත්තේ සමාජවාදය මගින් පමනි.

කම්කරු පන්තියේ ස්වාධීනත්වය සඳහා !

කම්කරු හා ශිෂ්‍ය විරෝධතා මගින් ධනපති ආන්ඩුව තම අවශ්‍යතා සඳහා නම්මා ගත හැකි ය යි ව්‍යාජ-වාම පක්ෂයක් වන පෙරටුගාමී සමාජවාදී පක්ෂය (පෙසප) නායකත්වය දෙන අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මන්ඩලය (අවිශිබම) හා වෘත්තීය සමිති ඉදිරිපත් කරන ප්‍රලාපය, සසජාතශි මුලුමනින් ම ප්‍රතික්ෂේප කරයි. මෙම සංවිධාන ධනපති ආන්ඩු බලයට ගෙන ඒමට ධනපති පෙරමුනු ගොඩනැගීමේ ප්‍රතිගාමී වැඩපිලිවෙල යටතේ මහජනයාට එරෙහි රුදුරු ප්‍රහාරවලට පාර කපා දෙමින් අවසානයේ දී කම්කරු පන්තියේ පන්ති ස්වාධීනත්වයට හා සමාජවාදයට හතුරුව පිහිටා සිටී.

සියලු වාර්ගික හා ආගමික භේදකරනයන් ප්‍රතික්ෂේප කරමින් සිංහල, දෙමල හා මුස්ලිම් කම්කරු පීඩිත හා තරුන ජනයා පොදු පන්ති අවශ්‍යතා මත ඒකාබද්ධ කිරීමට සසජාතශි සටන් වදී. ලංකාවේ උතුරෙන් හා නැගෙනහිරින් හමුදා ඉවත් කරනු ය යි උද්ඝෝෂනයේ යෙදෙන සසජාතශි ඉන්දු උප-මහද්වීප කලාපයේ සමාජවාදී සමූහාන්ඩු සංගමයක කොටසක් ලෙස ශ්‍රී ලංකා ඊලාම් සමාජවාදී සමුහාන්ඩුවක් ගොඩනැගීමේ අරගලයට කම්කරුවන් හා තරුනයන් එකාබද්ධ වීමේ තීරනාත්මකභාවය අවධාරනය කර සිටී.

ශිෂ්‍යයන්ගේ හා තරුනයන්ගේ ගැටලු ඔවුන්ට තනිව විසඳාගත නො හැකි අතර ශිෂ්‍යයන්, කම්කරු පන්තියේ නායකත්වය යටතේ බලමුලු ගැන්විය යුතු ය. වෘත්තීය සමිතිවාදය ප්‍රතික්ෂේප කරමින් කම්කරුවන්ගේ සහ ශිෂ්‍යයන්ගේ පොදු අරගලයක් සංවිධානය කිරීම සඳහා වැඩබිම්වලත්, නිවහන් ප්‍රදේශවලත් විශ්වවිද්‍යාල හා උසස් අධ්‍යාපන ආයතන තුලත් ක්‍රියාකාරී කමිටු ගොඩනැගීමට සසජාතශි කැඳවුම් කර සිටී. එම පියවරයන් තීරනාත්මක ලෙස මතු කරන්නේ කම්කරු පන්තියේ ස්වාධීන දේශපාලන පක්ෂයක් ගොඩනැඟීමේ අවශ්‍යතාව යි.

සමාජවාදී සංස්කෘතිය පුනර්ජීවනය කිරීම සඳහා!

සසප හා ඊට නායකත්වය දෙන හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව (හජාජාක) සමග ඒකාබද්ධව සසජාතශි, ලංකාවේත් ඉන්දු උපමහද්වීප කලාපයේත් සමාජවාදී සමානතා පක්ෂ ගොඩනැඟීමට සටන් වැද සිටී. එය, 1917 රුසියාවේ ඔක්තෝබර් විප්ලවයේ ජයග්‍රහනය තහවුරු කල බෝල්ෂේවික් පක්ෂයේ දේශපාලන සම්ප්‍රදායන් මත පිහිටා සිටී. එමෙන් ම, සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂවල හා ස්ටැලින්වාදී නිලධාරී තන්ත්‍රයේ පාවාදීම්වලට එරෙහිව හතර වන ජාත්‍යන්තරය පිහිටුවමින් ලියොන් ට්‍රොට්ස්කි ජාත්‍යන්තර සමාජවාදය සඳහා ගෙන ගිය අරලයේ සමස්ත අත්දැකීම් හා උරුමය ද එය දරා සිටී.

අධිරාජ්‍යවාදී යුගය තුල මහජනයාගේ ජීවන හා ප්‍රජාතන්ත්‍රීය අයිතීන් තහවුරු කිරීමට ජාතික ධනපති පන්තියේ ඓතිහාසික නොහැකියාව සියවසකටත් වැඩිකලක් තිස්සේ ඔප්පු කෙරී ඇත. තරුනයින් ඇතුලු පීඩිත ජන කොටස් කම්කරු පන්තියේ නායකත්වය යටතේ ජාත්‍යන්තර සමාජවාදී වැඩපිලිවෙලට සටන් වැදීම මගින් ම පමනක් මහජනතාවන් මුහුන දෙන ගැටලුවලට විසඳුම් ලබා ගත හැකි ය යන්න ලියොන් ට්‍රොට්ස්කි ඉදිරිපත් කල නොනවතින විප්ලව න්‍යාය පැහැදිලි කර දුන්නේ ය. සසජාතශි ලංකාවේ ද දකුනු ආසියානු කලාපයේ ද වැඩකරන ජනතාව හා තරුනයන් මෙම ඉදිරි දර්ශනයෙන් උගන්වා ගැනීමට හා බලමුලුගැන්වීමට සටන් වදී.

සමාජවාදය සඳහා අරගලයට එක්වන්න! සමාජ සමානතාව සඳහා ජාත්‍යන්තර තරුනයෝ ශිෂ්‍යයෝ ව්‍යාපාරයට බැඳෙන්න!

ලෝක සමාජවාදී වෙබ් අඩවිය මගින් ඉදිරිපත් කරන විශ්ලේෂන, ක්‍රියාමාර්ග සහ ඉතිහාසය අධ්‍යයනය කරන්නැයි අපි තරුනයන්ට හා ශිෂ්‍යයන්ට කැඳවුම් කර සිටිමු. සසජාතශිට බැඳීමට තීන්දුව ගනිමින් ඔබගේ පාසලේ, විශ්වවිද්‍යාලයේ, වැඩපලේ හා නිවහන් ප්‍රදේශවල සසජාතශි ශාඛාවක් ගොඩනැගීම සඳහා ආරම්භකත්වයක් ගනිමින් අප හා එක්වන්න.

SIGN UP FOR NEWSLETTER
close slider

Sign up for IYSSE Newsletter